Vehicle number plates will then be mailed to your home

රථවාහන ලියාපදිංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරැල්ලගම නව තැපැල් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පෙරේදා (24දා) මේ බව අනාවරණය කළේය.



එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපැයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇති බවත්, අංක තහඩු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ පමණක් නොව, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් තුළින්ද දෙපාර්තමේන්තුවට ආදායම් ඉපැයිය හැකි තත්ත්වයක් උදා කරන බවත් හෙතෙම පවසා සිටියේය. පෞද්ගලික අංශය තුළ විශ්වසනීය හා කාර්යක්ෂම අයුරින් සිදුවන ශ්‍රීඝ දූත සේවය තැපැල් දෙපාර්තමේන්තුව තුළද කඩිනමින් ස්ථාපිත කරන බවද පැවසූ ඒ මහතා, ඒ තුළින් විශාල ලාභයක් තැපැල් දෙපාර්තමේන්තුවට හිමිකර ගත හැකි බවද සඳහන් කළේය.

එසේම කෝවිඩ් වසංගත තත්වය හමුවේ රෝගීන් වෙත ඖෂධ බෙදාහැරේ වැඩපිළිවෙළ ඉතාමත්ම සාර්ථක අයුරින් සිදුකළ බවද සඳහන් කළ හෙතෙම, එම ව්‍යාපෘතිය තුළින් ජීවිත ගණනාවක් බේරාගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි වූ බවද පැවසීය. මෙරට තුන්සිය හතළිස් දෙකක් වන ප්‍රාදේශීය සභා තුළ නව තැපැල් කාර්යාලය ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කරන්නේ නම්, එය පොදු ජනතාවට වඩා සේවයක් ලබාදිය හැකි තත්වයක් වනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

( එම්.ආර්. ප්‍රදීප්)